Tuesday, July 14, 2015

තායි චී (Tai Chi)



තායි චී 


සටන් කලාවක් ඉගෙන ගන්නවා කිව්වාම තරුණ තරුණියො ඒ ගැන උනන්දු වුනත් වැඩි හිටි පිරිස් ඒ ගැන ඒ තරම් ප්‍රියමනාපයක් දක්වන්නේ නෑ. සටන් කලා පංති ගැන බෝක්කුවලයි, ලයිට් කණු වලයි ගහලා තියෙන පෝස්ටර් දකිද්දි ඒ වගේ අදහසක් මිනිස්සු තුළ ඇතිවීම ස්වභාවිකයි. බහුතරයක් දෙනා සටන් කලාවක් හැදෑරීම සම්බන්ධයෙන් බලන්නේ රස්තියාදුකාර වැඩක් විදියට. ඒ සටන් කලාවක් හැදෑරීමේ වටිනාකම ශ්‍රී ලාංකිකයන්ට තවමත් නිසි ලෙසින් දැනිලා නැති නිසා.

සටන් කලාව කියන්නේ ගහ මරා ගන්නම තියෙන දෙයක් නෙමෙයි. නැටුම්, සංගීතය, චිත්‍ර වගේම සටන් කලාවත් මිනිස් සිත සැනසීමට තියෙන කලාවක්. ඒ වගේම මිනිසාගේ ප්‍රඥාව, සෞඛ්‍යය වර්ධනය කිරීමට හේතු කාරී වන කලාවක්. ඒ විතරක්ම නෙමෙයි විද්‍යාත්මක පදනමක් ද සහිතව පවතින කලාවක්. මේ අතරිනුත් තායී චී කියන සටන් කලාව අනිකුත් සෑම සටන් කලාවකටම වඩා වෙනස් පදනමකින් පවතින සටන් කලාවක්.

තායි චී කියන සටන් කලාව හඳුන්වන්නේ මෘදු සටන් කලාවක් විදියට. ඇත්තෙන්ම මේ ආකාරයේ වෙනත් සටන් කලාවක් නැහැ. සෑම අංග චලනයක් ම මෘදුයි. ඒ වගේම සැහැල්ලුයි. බොහෝ අවස්ථාවලදී තායි චී කලාවේ දී භාවිතා කරන්නේ අපේ ශක්තියටත් වඩා අපේ ප්‍රතිවාදියාගේම ශක්තිය. හරියට ක්‍රිකට් තරඟයකදි පන්දුවට පහර දෙන්නා පන්දුවට පහර දීමේ දී තමන්ගේ පිත්තට යොදන බලයට ගැන හිතනවාට වඩා තමන් දෙසට එන පන්දුවේ වේගයම පහරේ වේගයට හරවන අවස්ථාවකදි වගේ. 

තායි චී සටන් කලාවෙදි අපේ ඇඟේ තියෙන ශක්තිය ප්‍රභල සාධකයක් විදියට සැළකෙන්නේ නෑ. නමුත් මේ සම්බන්ධයෙන් වන පුහුණුවීම් වලදී ශාරීරිකව සිදුවන ව්‍යායාම්, පුහුණුවන්නාගේ නිරෝගී කමට අනිකුත් කිසිදු ක්‍රියාවකින් සිදු නොවන ආකාරයෙන් වන බලපෑමක් සිදු කරන බව පිළිගනු ලබනවා. මෘදු බව සහ අවසන් ප්‍රතිඵලයේ ඇති ප්‍රභලතාවයත් පුහුණුවන්නාට ලැබෙන මිල කළ නොහැකි ප්‍රතිලාභත් නිසාවෙන් වයස්, ලිංග, ජාති භේදයකින් තොරව අද වන විට ලෝකය පුරාම මිනිසුන් අතරේ තායි චී ජනප්‍රියව පුහුණු වනවා.